ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මඟපෙන්වීම මත ZERO to HERO වැඩසටහන යටතේ නව නිපැයුම්කරුවන් පිරිසකගේ හිමිකම සහිතව “ඉනෝ 8 රොබොටික්ස් පෞද්ගලික සමාගම” ආරම්භක ව්‍යාපාරයක් (Startup) ලෙස ස්ථාපනය කරන ලදී. ඔවුන්ගේ බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කරගැනීමට කටයුතු කරන ලද නව නිපැයුමක් වූ, වන අලින් සඳහා දේශීයව නිෂ්පාදිත කරපටි 50ක් 2021 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මිලදී ගැනීමට එකඟ වී ඇත. රුපියල් මිලියන 22කට අධික වටිනාකමකින් යුතු මෙම ව්‍යාපෘතිය මඟින් විදේශයන් වෙත ගලාගිය විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකිවීම විශේෂයක් වන අතරම දැනට භාවිතයේ ඇති කරපටි වලට වඩා තාක්ෂණයෙන් වැඩිදියුණු කරන ලද මෙම නව නිපැයුම ඊට වඩා අඩු මුදලකට ලබාගත හැකිවීමද විශේෂය.

දේශීය නව නිපැයුම් තුලින් ශ්‍රී ලාංකීය ආර්ථිකය බලගන්වන කොමිසමේ ක්‍රියාන්විතය තුල ලබාගත් සුවිශේෂි ජයග්‍රහණයක් වන මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් ලද අනුපමේය සහයෝගය විශේෂයෙන්ම සිහිපත්කල යුතුය. කොමිසම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ලද මිනිසුන් සහ වනජීවීන් අතර ගැටුම් නවොත්පාදක විසඳුම් තුලින් අවම කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව අත්හදා බලන ලද මෙම නව නිපැයුම, කාලීන සමාජ අවශ්‍යතාවයක් වන වනජීවින් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම් අවම කර මානව සම්පත, වනජීවින් සහ කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම තුලින් වර්ථමාන සමාජයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ක්‍රියාත්මක කළ හැකිබව අපගේ හැඟීමයි. කොමිසම පිළිබඳව විශ්වාසය තබමින්, දේශීය නව නිපැයුම් පිළිබඳව විශ්වාසය තබමින් කටයුතු කල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ ස්තුතිය පිරි නැමිය යුතුමය.

දේශීය නව නිපැයුම් සඳහා වෙළඳපොල සොයාදීමට කොමිසම කැපවී ක්‍රියා කරන අතරම මුහුණදුන් බාධක කම්කටොලු මෙම ක්‍රියාන්විතයට පන්නරයක් කරගැනීමට අප හට හැකිවිය. එමෙන්ම දිවා රෑ නිදි නොමැතිව සිය නව නිපැයුම අවශ්‍යතාවය අනුව වැඩිදියුණු කරගනිමින් අවසානය දක්වාම සිය බලාපොරොත්තු අත් නොහැර කොමිසම සමඟ කටයුතු කල මෙම නව නිපැයුම්කරුවන්ගේ කැපකිරීම අනෙකුත් සියලුම නව නිපයුම්කරුවන්ටද මහඟු ආදර්ශයකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කොමිසම මඟින් ක්‍රියාත්මක කල මෙම වැඩසටහන සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ සහ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලැබිණ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ගරු. රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මැතිතුමියගේ සහ වනජීවී රැකවරණය, අලිවැට හා අඟල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන ගරු. රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමන්ගෙන් ලද නොමද සහයෝගයද සිහිපත් කල යුතුය.

ඔබගේ නව නිපැයුමද සාර්ථක ආරම්භක ව්‍යාපාරයක් (Startup) ලෙස ස්ථාපනය කර වාණිජකරණය කිරීම සඳහා ZERO to HERO වැඩසටහන හා එක්වන්න.